Friday, July 13, 2012

සිහිල් දිය වැල් සිනාසී
ගී ගයා දුර ගලා යයි
නිදති තුරුපත් මේ රැයේ
සුලං රැලි මත නැලවිලා

තරු පියුම් පෙති ඈහැරිලා
සිහිනයක මුතු විසිරිලා
නිදයි ඔබ නගමින් සිනා
දෙතොල් මල්පෙති විහිදලා

ජීවිතේ සුවඳයි මගේ
මලක රොන් සුණු තැවරිලා
සිතක සිතිවිලි ඉතිරිලා
ගලයි කවි පද වී ගලා

ආදරේ හැඟුමක් නොවේ
මැකෙන පිණිබිඳුවක් නොවේ
කාලයේ සළුවෙන් වැසී
සැඟව යන මැණිකක් නොවේ

Thursday, June 16, 2011

සඳ දිය කඳුලැලි

වෙසක් සඳ අඩවන්ව සිඳී ගිය අහස් කුස
පොසොන් සඳවත පිපෙයි පිපෙන නෙළුමක් සේම
පියුම් පත් පත් සිඳී විසිර යයි මලසුනේ
සියුම් සුවඳක සුවඳ නෙතු පියයි නිසසලව

සඳම මුත් සඳ නොවෙයි නැගෙන කඳුලැලි කියයි
පිපෙන මුත් එළිය දී අඳුර ඈතට නොයයි
ගලන සඳ කඳුළු දිය බිඳු බිඳුව දිලිසිලා
පිරිමදියි හෙමි හෙමින් මිලින පියුමේ සුවඳ






Wednesday, December 22, 2010

සුවඳ මටයි මගෙ සඳටයි

මහ පොලොව ජනිතව
නෙතු පියන් සැලූ දින
හිස්ම හිස් මුඩු බිමක
පා නගා ඇවිද ගිය
පියවරක් පියවරක්
මා දෙපා ලඟ රැඳුණු
සිඟිති පියවර ලකුණු
මතින් මම පා නගමි
නොනවතිමි නොනවතිම්


කාලයේ පියාපත් යට
තුරුළු වී උණුසුමට ගුලිවෙන
මතක මල් පෙති උඩින්
හොරෙන් හොරෙන් පා නගයි සිතුවිලි


අතීතයක්
අනාගතයක් නොමැති
අවකාශයක රැඳවුනු
එකම එක මොහොතක
සුවඳ ඉහිරී ගලයි
කල්පාන්තරයක් දිගට


ජීවිතය
සුවඳයි
මටයි මගෙ සඳටයි....!

Friday, December 17, 2010

හඳට උඩින් පියා සලන කිරි කොක්කුන්ටයි

හිතට සුසුම් උණුහුම දෙන සුවඳ අරන් වරෙල්ලා
හඳට උඩින් පියාඹලා කිරි පෑ වී වරෙල්ලා


මදටිය ඈස් අගට සිහිල් කඳුළු අරන් වරෙල්ලා
ග​ඟේ ගිහින් ගලේ හැපුණු කිරි මුට්ටිය ගෙනෙල්ලා


අනේ අපොයි කියා ගිහින් හිනා හලන් බකමූණෝ
මගෙයි මගෙයි මගෙයි කියා අඬා වැටෙන් උල ලේනෝ


කීචි බීචි කතා කියන බටිති පැටවුනේ ඈවිදින්
කොඳුර කොඳුර හිනා වෙයව් මගේ ලඟින් දුව පනිමින්
 
මතක පොකුරු පොකුරු පොකුරු මල් පොකුරක රඳවලා
හිතක හිතක සුවඳ බිංදු හිතක හිතක තවරලා


හඳට උඩින් පියාඹලා පියාඹලා වරෙල්ලා
හිතට යටින් හොරෙන් හොරෙන් හිනාවෙලා ඉඳිල්ලා

Friday, October 1, 2010

සිඹිමි මම මගේ සඳ

හිනාවක ඉනාවක් හිනාවෙන වෙලාවක
හිතේ රැඳි සුවඳ මල් කිතිකැවෙන සැඳෑවක
ඈවිත් මා ලඟට නුඹ දැවටෙමින් මා ලඟම
දෙනෙත් පොපියා බලයි සිඹින තුරු මගේ සඳ

නවාගෙන බට පඳුරු සුළඟ දඟලයි දුවයි
මගේ හිත නැවතිලා හැලෙන මල් පෙති දකියි
අනේ මගෙ සරා සඳ මුහුණ ඔසොවා මදෙස
බලාගෙන ඉන්නවා සිඹින තුරු මුදු නළල

අත පපා ලදරුවෝ සිනා සෙති නුඹ සමග
සඳ එළිය මැද රඟති චන්ද කින්නර යුවල
සිඹිමි මම නුඹෙ නළල සිඹිමි මම ආයෙමත්
ආදරේ කියන්නේ නිම නොවන සිහිනයක්

Wednesday, September 29, 2010

ඉකි බිඳින සඳ බිනර

ඉකිගසන බිනර සඳ
මුතු කඳුළු හෙලන සඳ
සුදු තිමිර සේල හැඳ
කඳු සිකර නිදති අඳ

Thursday, September 16, 2010

රිදවන අඩසඳ

සිදුරු කරන්නද මහද
බලා ඉන්නේ නුඹ
උලුක් කරගෙන
උල් දෑ කැත්ත අද..?